කිරි ආර්ථිකයට ගොම දමන වැරදි මතවාද




ශ්‍රී ලංකාවේ ආහාර වෙළඳපළ තුළ ඉහළම ප්‍රචාරක පිරිවැය දරනු ලබන්නේ කිරිපිටි සහ අනෙකුත් කිරි ආශ්‍රිත ආහාර ආනයනය කරන සමාගම් විසිනි. නමුත් තිරිඟු පිටි සහ සීනි වැනි අනෙකුත් ප්‍රධාන ආනයනික ආහාර සමග සැසදීමේදී කිරිපිටි වෙළඳපල ප්‍රමාණාත්මකව කුඩා එකකි. ශ්‍රී ලංකාවට තිරිඟු පිටි මෙට්‍රික් ටොන් ලක්ෂ 17ක් සහ සීනි මෙට්‍රික් ටොන් ලක්ෂ 5 ක් ආනයනය කළත් කිරිපිටි ආනයනය කරන්නේ මෙට්‍රික් ටොන් ලක්ෂ 1කට අඩු ප්‍රමාණයකි. ඒ ආකාරයට කිරි වෙළදපළ සාපේක්ෂ්ව සහ ප්‍රමාණාත්මකව කුඩා වුවත් ළෙඳපොළ වටිනාකම සහ ඊට අදාල ලාභ ප්‍රතිශතය ඉහළ මට්ටමක පවතියි. ඒ නිසාම එක් පැත්තකින් ඉහළ ප්‍රචාරක පිරිවැයක් දරමින් කිරිපිටි පරිභෝජනය ට අදාළව විශාල සමාජ අවධානයක් ඇති කිරීමට විදේශීය කිරිපිටි ආනයන සමාගම සමත් වී ඇත.

 විශේෂයෙන්ම පෝෂණ ගුණය පිළිබඳ අතිශෝක්තියෙන් සමාජ මතයක් ගොඩනැගීමට එම සමාගම්වලට හැකියාව ලැබී ඇත. එසේ ව්‍යාජ පෝෂණ ණිවිඩ සහිත දැන්වීම් ප්‍රචාරය කිරීම ආහාර පනත යටතේ වරදකි. නමුත් විවිධ ‘’පෝෂණ ලේබල්’’ අලවා වෙළඳ නාම රාශියක් යටතේ වෙළෙඳ පොළට ඉදිරිපත් කරන කිරිපිටි වර්ග වලට අදාල වෙළඳ දැන්වීම් සියල්ලම පාහේ නීති විරෝධී බව ඒ පිළිබඳ අවබෝධය සහිත පිරිස් ඉතා හොඳින් දනිති. අනෙක් පැත්තෙන් එසේ වෙන් කෙරෙන විශාල ප්‍රචාරක පිරිවැය යොදා ගනිමින් ජනමාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් පමණක් නොව සිල්ලර වෙළඳුන් පවා එම සමාගම්වල පදයට නටන තත්ත්වයක් එම සමාගම් විසින්  නිර්මාණය කොට ඇත. එක්තරා කාලයක මව්කිරි වලට අමතරව පමණක් නොව විකල්පයක් ලෙසද දරුවන්ට පිටිකිරි නිර්දේශ කිරීමට එම සමාගම් කටයුතු කරනු ලැබීය. ඒ සදහා ආචාර ධර්ම විරෝධී වෛද්‍යවරුන් පවා යොදා ගැනීමට එම සමාගම් සමත් විය.

 එම ක්‍රියාවලිය ‍කෙතරම් බලවත් වීද යත් පාරිභෝගික අධිකාරි පනත යටතේ කිරිපිටි අත්‍යවශ්‍ය ආහාරයක් ලෙස නම් කිරීමට පවා අදාළ සමාගම් සමත් විය. එම ක්‍රියාවලියේ එක්තරා හාස්‍යජනක අන්තයක් ලෙස දරුවකුට දිනකට ලබා දිය යුතු කිරි ප්‍රමාණය නියම කිරීමට පවා යම් සෞඛ්‍ය බලධාරීහු කටයුතු කළහ. ඒ අනුව පාසල් දරුවන්ගේ පෝෂණ තත්වය දියුණු කිරීම සඳහා පාසැල් තුළ දී කිරි වීදුරුවක් ලබා දිය යුතු බවට දේශපාලන නිර්දේශ ඉදිරිපත් විය. කෙසේ වෙතත් අවසානයේදී ලෝකය පුරා පැන නැගුණු බලවත් විරෝධය හමුවේ කිරිපිටි සමාගම් වලට අඩියක් පසුපසට ගැනීමට සිදුවූ අතර ලදරුවන්ට කිරි පිටි නිර්දේශ කිරීම වැළැක්වීම සඳහා යම් පියවර ගැනුණි.

විදේශීය කිරිපිටි සමාගම් ඒ ආකාරයට සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය සහ පොදු ජනතාවගේ මනෝභාවය කළමනාකරණය කිරීමට සමත් වන්නේ රජය විසින් ලබාදෙන බදු සහන අයුතු ලෙස යොදා ගැනීමෙන් බව පැහැදිලි සත්‍යයකි. පසුගිය රජය විසින් ආනයනික කිරිපිටි වලට පනවා තිබූ විශේෂ පාරිභෝගික බදු ඉවත් කොට වැට් බදු පැනවීම මගින් පමණක් එම සමාගම්වල ලාභය රුපියල් මිලියන 10,000 කින් වැඩිවිය. මහජනයා සඳහා යෙදවිය යුතු බදු ආදායම් රජය විසින් එම සමාගම්වලට ආපසු ලබා දුන් විට එම මුදලින් මිලදී ගත නොහැක්කේ කවුද? පසු ගිය කාලයේදී එම සමාගම්වල උවමනාවන්ට අනුව කටයුතු කරන බවට සෞඛ්‍ය බලධාරීන්ට සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිලධාරීන්ට මෙන්ම පාරිභෝගික අධිකාරියට ද චෝදනා එල්ල විය.

ඒ ආකාරයට මහා පරිමාණ වශයෙන් මුදල් විසි කරමින් ඇතිකරන ඝෝෂාව තුළ හරි වැරදි බේරා  ගැනීමට නොහැකි මහජනයා වික්ෂිප්ත වේ. යම් පිරිසක් දැනුම්වත්ව කිරිපිටි  සමාගම්වල උවමනාවන් ඉටුකිරීම සඳහා ඝෝෂාවට දායක වේ. තවත් පිරිසක් මහා පින්තූරය තේරුම්ගැනීමට නොහැකි වීම නිසා වක්‍රව සමාගම් වල වුවමනාව ඉටු කරති. දේශීය කිරි ආර්ථිකයට හානි කරවන සහ විදේශීය කිරිපිටි සමාගම්වලට වාසිදායක මතවාද වැඩි වශයෙන් නිෂ්පාදනය කෙරෙන්නේ පෝෂණ සාධකය මුල්කරගෙනය. එහිදී එක් පැත්තකින් ඉහත සඳහන් කළ ආකාරයට කිරි යනු ළදරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ට ද නිර්දේශ කළ යුතු අත්‍යවශ්‍ය පෝෂදායි ආහාරයක් ලෙස ස්ථාන ගත කරති. ඒ අනුව කිරිපිටි වලට බාහිරින් එකතු කරන විවිධ පෝෂක ද්‍රව්‍ය හුවා දක්වමින් කිරිපිටි ප්‍රචලිත කිරීමට කිරිපිටි ආනයනය කරන සමාගම් කටයුතු කරති. නමුත් කෑමට හෝ බීමට යන කුමන ආකාරයකට පරිභෝජනය කළත් කිරි යනු බත්, කොස්, දෙල් ,අල වැනි තවත් ආහාරයක් පමණි.

යම් පොට පටලවාගත් වෛද්‍යවරුන් පෝෂණය හෝ පෝෂක ද්‍රව්‍ය මුල්කරගෙන ආහාර  පිළිබඳව මහජනයා ට උපදෙස් දුන්නද  මහජනයා පෝෂක වර්ග තෝරා හාරයට ගන්නේ නැත. සාමාන්‍ය මහජනයා ආහාරයට ගන්නේ ආහාර ද්‍රව්‍ය මිස ජෛව රසායනික විද්‍යාවට අනුව තෝරා ගන්නා පෝෂක ද්‍රව්‍ය නොවේ. කෙසේ වෙතත් කිරි අත්‍යවශ්‍ය පෝෂක ද්‍රව්‍ය බවට කිරිපිටි සමාගම් විසින් හදන මතයට විරුද්ධ මතයක් ද යම් පිරිසක් විසින් ගොඩ නගති. බැලූ බැල්මට එය විදේශීය කිරිපිටි සමාගම්වලට එරෙහිව ගොඩනගන මතය ලෙස පෙනුණ ද එම මතය රටේ කිරි ආර්ථිකයට සහ ආහාර සුරක්ෂිතතාවයට මෙන්ම ගොවියාගේ ජීවන තත්වය නගා සිටුවීමේ ප්‍රයත්නයට අහිතකර වේ. එම මතයට අනුව කිරි වල විශේෂ පෝෂණ ගුණයක් නැත. ඒ නිසා කිරි බීමක් ලෙස හෝ කෑමක් ලෙස ආහාරයට ගැනීමට පුරුදු වීම වරදකි. ඒ වෙනුවට බත් කෑමෙන් හෝ කැඳ බීමෙන් එම අඩුව පිරවිය හැක.
නමුත් මෙම මතය ගොඩනගන පිරිස් ආපන ශාලාවලින් වතුර වෙනුවට දිනකට පැණි බීම බෝතල් දෙකතුනක් බොන පුරුද්දට ඇබ්බැහිවී සිටින සිසුන් ඉන් ගලවා ගැනීමට උපදෙස් දෙන්නේ නැත. එනම් පැණි බීම අත්‍යවශ්‍ය  නොවන නිසා ඒ වෙනුවට වතුර බොන්න යනුවෙන් උපදෙස් දෙන්නේ නැත. එසේම ඔවුන් තුන්වේලට පාන් පිටි ගිලිමින් කුඩා වියේදීම දියවැඩියාව හදා ගන්නා දරුවන්ට පාන් කෑමේ ආදීනව කියා දී ඒ වෙනුවට බත් කන්න යනුවෙන් උපදෙස් දෙන බවක් දක්නට නැත. එසේනම් කිරි බීම හෝ කෑම පිළිබදව පමණක් විශේෂයෙන් ඝෝෂාවක් නගන්නේ කුමක් නිසාද?

එසේ කිරි පරිභෝජනය    අධෛර්යමත් කිරීම ට ඉදිරිපත් වන පිරිස් වලට දේශීයව නිපදවන සහ පිටරටින් ආනයනය කරන කිරි අතර වෙනසක් නැත. ඊට හේතුව ඔවුන් ඉහත සඳහන් කළ ආකාරයට කිරි ආර්ථිකයට අදාල මහා පින්තූරය නොදැකීම ය. ඔවුන් නොදකින එම පින්තූරයේ පැතිකඩ ත්‍රිත්වයක් ඇත. පළමුවැන්න රටේ ආහාර සුරක්ෂිතතාවයතාවයට අදාල පැතිකඩයි. ආහාර සුරක්ෂිතතාවය රැකෙන්නේ තෝරාගත් බෝග කිහිපයක  නිෂ්පාදනය වැඩි කොට රටේ සමස්ථ ආහාර තොගය වැඩි කිරීමෙන් පමණක් නොවේ. එසේ බෝග කිහිපයක් මත පදනම් වීම අනතුරුදායක වේ. එවිට එක් බෝගයකට සිදුවන විනාශය නිසා  සමස්ත රටේ ආහාර සුරක්ෂිතතාවය අනතුරේ වැටෙයි. අයර්ලන්තයේ සුප්‍රසිද්ධ අර්තාපල් සාගතය නිසා මිලියන ගණනක් මිනිසුන් මිය යන්නේ එක් බෝගයක් මත් පදනම් වීම නිසාය.

ඒ නිසා රටක ආහාර සුරක්ෂිතතාවය ආරක්ෂා වන්නේ බෝග විවිධත්වය සහ ආහාර විවිධත්වය වැඩි වූ තරමට ය. ඒ අනුව මිනිසාට ආහාරයට ගත නොහැකි ශාක කොටස් සහ කෘෂි අපද්‍රව්‍ය එළදෙන නම් වූ මැෂිම හරහා කිරි නිපදවීම මගින් රටේ ආහාර සුරක්ෂිතතාවයතාවය වැඩිවේ. තණකොළ දිරවීමට නම් විශේෂ ආමාශයක් අවශ්‍ය වේ. මෙවැනි ආමාශ නැත්තවුන්ට ආහාරයේ විවිධත්වය වැඩි කර කර ගැනීම සඳහා අල, දෙල්, කොස් සහ බත් සමඟ කිරි ද ආහාරයට ගැනීමට සිදුවෙයි. ඊට විරුද්ධ විය හැක්කේ තණකොළ දිරවීමට හැකි ආමාශ ඇත්තවුන්ට පමණි.

ඉහත සඳහන් කළ කිරි ආර්ථිකයට අදාල මහා පින්තූරයේ දෙවන පැතිකඩ වන්නේ ගොවියාගේ ආදායම් මට්ටම වැඩි වීමය. ශ්‍රී ලංකාවේ ගොවීන්ගේ ඉඩම් අයිති පැතිරී ඇති ආකාරය අනුව ගොවීන්ගෙන් 75% කට හිමි වන්නේ අක්කර 2 කට අඩු භූමි ප්‍රමාණයකි. ඒ අනුව බෝග වගාව දියුණු කිරීමෙන් පමණක් ඔවුන්ගේ ආදායම් මට්ටම ඉහළ දැමිය නොහැක. ඒ සඳහා බෝග වගාව සමඟ කිරි ගොවිතැන ඒකාබද්ධ කිරීමට සිදුවේ. එසේ බෝග වගාව සහ කිරි ගොවිතැන ඒකාබද්ධ කළ විට අපද්‍රව්‍ය  පොහොර ලෙස යොදා ගැනීම නිසා වගා කිරීමේ ක්‍රමවේද දියුණුවේ. ඊට අදාළ හොඳම ආදර්ශය සපයන්නේ ඉන්දියාවය. ඉන්දියාව ලෝකයේ විශාලතම කිරි  නිෂ්පාදකයා බවට පත් වන්නේ එක් එළදෙනෙකුගෙන් සාමාන්‍ය ලෙස කිරි ලීටර් 4 - 5 ලබාගත හැකි ජාතික ගව  පට්ටියකිනි. එම ආදර්ශය තුළින් කිරි ආර්ථිකය තුළ ප්‍රචලිත වී ඇති තවත් වැරදි මතවාදයක්ද නිෂේධනය වේ. එනම් රට කිරිවලින් ස්වයංපෝෂිත කිරීම සඳහා එළදෙනෙකුගෙන් කිරි ලීටර් 30 – 40 ගත හැකි ගව පට්ටියක් අවශ්‍යයැයි යන මෝඩ තකතීරු මතය නිෂේධනය වේ.

කිරි ආර්ථිකයේ මහා පින්තුරය තුල වැදගත් වන තුන්වන පැතිකඩ වන්නේ දේශීය කිරිපිටි සහ ආනයනික කිරිපිටි අතර වෙනස තහවුරු කිරීමය.  දේශීය කිරිපිටි මිල දී ගන්නා සෑම විටම ගොවියාගේ කිරි ලීටරයට ලැබෙන මිල සහතික වේ. විදේශීය කිරිපිටි පරිභෝජනයේදී සහතික වන්නේ විදේශීය ගොවියාට ලැබෙන මිලය. ඒ නිසා ආහාරයක් ලෙස කිරි බොන හා කන පිරිස් දේශීය කිරි පරිභෝජනය කළ යුතුය යන මතය ජාතික වශයෙන් මානව හිතවාදී මතයකි. ඒ අනුව ආනයනික කිරිපිටි දිය කර මහා පරිමාණයෙන් නිපදවන යෝගට් වැනි ආශ්‍රිත ආහාර මගින් ගොවියාගේ කිරි වෙළදපොලට තර්ජනයක් ඇති වේ. ඒ අනුව දේශීය ගොවියා ආරක්ෂා කිරීමේ මානව ගුණය ඇත්තවුන් පිටරට හදන කිරි පිටි සහ කිරි ආශ්‍රිත ආහාර අධෛර්යමත් කළ යුතුය.

කිරි ආර්ථිකයට ගොම දමන අනෙක් වැරදි මතය වන්නේ කිරිපිටි වල පෝෂණ ගුණය  බැවින් ඒවා වෙනුවට හැකිතාක් දියර කිරි ප්‍රචලිත කළ යුතුය යන්නයි. ඇත්ත වශයෙන්ම එය කිරිපිටි ආනයනය කරන සමාගම් විසින් ප්‍රචලිත කරන මතයකි. පසුගිය රජය සමයේ ‘’කිරි ඉතුරුම් මංගල්‍යය’’ නමින් පිටරට කිරිපිටි සමාගම්වල අනුග්‍රාහකත්වය යටතේ දියත් කළ වැඩපිළිවෙළ තුළ එක් ප්‍රධාන ප්‍රවේශයක් වූයේ දියර කිරි බීම ප්‍රචලිත කිරීමය. ඒ සඳහා බොහෝ බැනර් කටවුට් ප්‍රදර්ශනය කරන අයුරු දක්නට ලැබුණි. ඇත්ත වශයෙන්ම එම ප්‍රවේශය මගින් පිටරට කිරිපිටි සමාගම්වල වෙළද පොළට කිසිදු හානියක් සිදුවූයේ නැත. එක් පැත්තකින් ගත් විට ඉන්දියාවේ මෙන් අඩු මිලට කාර්යක්ෂම ලෙස නැවුම් එළකිරි බෙදා හැරීමේ යාන්ත්‍රණයක් ශ්‍රී ලංකාවේ සකස් කළ නොහැක. කුඩා ප්‍රදේශ්යක නැවුම් එළකිරි බෙදාහැරීමේදී එසේ බෙදාහැරීමේ කුලිය නිසා කිරි මිල ඉහළ යයි. අනෙක් පැත්තෙන් අප රටේ නැවුම් එළකිරි සංස්කෘතිය ඉන්දියාවේ මෙන් ඓතිහාසිකව ප්‍රචලිත වූවක් නොවේ. ඓතිහාසිකව ශ්‍රී ලාංකිකයන් කිරි බොන ජාතියකට වඩා කිරි කන ජාතියකි.

එම  ගැටළුවට පිළිතුරු සෙවීම සඳහා සකස් කළ කිරි බෙදා හරින්නේනම්  ඒ සඳහා ශීත දාමය පවත්වාගත හැකි ක්‍රමවේදයක් අවශ්‍ය වේ. එය මූල්‍යමය වශයෙන් සහ පාරිසරික වශයෙන් ඉහළ පිරිවැයක් සහිත ක්‍රමවේදයකි. ඊට අමතරව එම යාන්ත්‍රණය සම්පූර්ණ වීම සඳහා සෑම නිවසකම ශීතකරණයක් තිබීම අවශ්‍ය වේ. අනෙක් පැත්තෙන් ගත්විට  දියර කිරි බෙදාහැරීම කෙතරම් කාර්යක්ෂමව සිදුකළ ද මේ වන විට එය ළඟා වී ඇත්තේ 15% පමණ ප්‍රතිශතයක් දක්වා ය. දියර කිරි ප්‍රචලිත් කිරීමේ යාන්ත්‍රණයක් මඟින් පමණක් ගොවියා නිපදවෙන ඕනෑම කිරි ප්‍රමාණයක් මිලදී ගැනීමේ හැකියාව හෙවත් ධාරිතාව පවත්වා ගෙන යා නොහැක. ගොවියා නිපදවන ඕනෑම කිරි ප්‍රමාණයක් මිලදී ගැනීමේ හැකියාව කිරි ආර්ථිකය දියුණු කිරීමේ පූර්ව කොන්දේසියකි. ඒ සඳහා කිරි පිටි නිපදවන කර්මාන්ත ශාලා කිහිපයක් පවත්වාගෙන යාම අත්‍යවශ්‍යවේ. ඒ නිසා දියර කිරි උපරිමයෙන් පරිභෝජනය කරන අතර එහි අඩුව පිරවීම සඳහා කිරි පිටි අවශ්‍ය වේ. කිරිපිටි වලින් කිසිවක් ඉවත් නොකරන්නේ නම් කිරිපිටි සහ දියර කිරි අතර පෝෂණමය වෙනසක් නැත.
දේශීය කිරිපිටි සහ දේශීය දියර කිරි අතර එවැනි පෝෂණමය වෙනස්ක් නැතත් විදේශීය කිරිපිටි පරිභෝජනයේදී එවැනි වෙනසක් ඇත. එයට හේතුව විදේශීය කිරිපිටි අංගසම්පූර්ණ එළකිරි නොවේ. ඒවා මේදය පුරවන ලද කිරි ලෙස හැඳින්වේ. කිරි මේදය යම් ප්‍රතිශතයක් ඉවත්කොට ඒ වෙනුවට වෙනත් ෆාම්  තෙල් වැනි තෙල් වර්ග එකතු කිරීමෙන් ඒවා නිපදවේ. එසේ කරනු ලබන්නේ ලාභය වැඩිකර ගැනීම සඳහාය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව කිරිපිටි වලින් ස්වයංපෝෂිත වීමෙන් පසුව එනම් කිරිපිටි ආනයනය නැවැත් වූ පසුව ඉන්දියාව සිදු කළ ආකාරයට ක්‍රමයෙන් කිරිපිටි නිෂ්පාදනය සහ පරිභෝජනය අඩු කරමින් නැවුම් හෝ සකස් කළ දියර කිරි පරිභෝජනය ඉහළ දැමිය හැක.

 කිරි ආර්ථිකයට ගොම දමන අනෙක් වැරදි මතය වන්නේ ශ්‍රී ලංකාවට ආනයනය කරන කිරිපිටි වල ප්‍රමිතිය නිසිලෙස පරික්ෂා කරන බවට ව්‍යාජ ආරක්ෂාකාරී මතයක් ගොඩනැඟීම ය. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අංක 731 ප්‍රමිතිය අනුව කිරිවල මේදය පරීික්ෂා කිරීම සඳහා යොදාගන්නේ 1930 ගණන් වල භාවිතා කළ පරීක්ෂණ ක්‍රමවේදයන්ය. ඒවායේ සංවේදී බව කොතෙක් දුර්වල මට්ටම්ක පවතියි ද යත් ඒ මගින් 40%ක් දක්වා බාහිරෙන් එකතු කරන ලද ශාකමය තෙල් වර්ග  හඳුනාගත  නොහැක. ඇත්ත වශයෙන්ම මේදය පුරන ලද කිරි හෙවත් කිරි මේදය ඉවත් කොට ෆාම් තෙල් එක්තු කොට නිපදවන කිරිපිටි වල පිටතින් එකතු කරන මේදය අඩංගු වන්නේ 25-30% ත් අතර ප්‍රමාණයක් පමණි.

එම නිසා අදාල ගල් යුගයේ පරීක්ෂණ මගින් කිරි මේදය ඉවත් කොට ෆාම්  තෙල් එකතු කරමින් ලාභ වැඩි කර ගැනීමේ නීති විරෝධී කූට ක්‍රමවේදය ඔප්පු කළ නොහැක. ඒ නිසා එහිදී එක් පැත්තකින් කිරිපිටි ආනයනය කරන සමාගම් නීතියෙන් රිංගා යන අතර අනෙක් පැත්තෙන් මහජනයා රවටමින් ගුණාත්මක තත්ත්වයෙන් අඩු කිරිපිටි ඔවුන්ට පෙවීමට හැකිවී ඇත. ඒ ආකාරයට ආහාර බලධාරීන් එම පරීක්ෂණාගාර පහසුකම් වැඩි දියුණු කිරීමට පියවර නොගන්නා නමුත් කාර්යාල වල පරිගණක වසර දෙකෙන් දෙකට මාරු කරනු ලැබේ. ඒ අනුව ඔවුන් ගල් යුගයේ ජීවත් වන්නේ යම් බලපෑමක් නිසා බව පැහැදිලි වේ.

කිරි ආර්ථිකය ඇඳ වට්ටන අනෙක් වැරදි මතවාදය වන්නේ මිල සූත්‍රයක් මගින් කිරි ආර්ථිකය දියුණු කළ හැකි යැයි පිළිගැනීම ය. ඒ අනුව දැන් මිල සූත්‍රයක් හඳුන්වා දී ඇත. නමුත් එය කිරිපිටි ආනයනය කරන සමාගම්වල උපදෙස් මත ඔවුන්ගේ වාසිය සඳහා සකස් කළ එකක් බව එහි අවසන් ප්‍රතිඵලයෙන් පැහැදිලි වේ. ඒ අනුව දැන් මිල සූත්‍රයෙන් පසුව ආනයනික කිරි පිටි කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 60 කින් ඉහළ ගොස් ඇත. ජාත්‍යන්තර අත්දැකීම් අනුව මිල සුත්‍ර හඳුන්වා දීමට හේතු තුනක් මුල්වේ. පළමුවැන්න ආහාර ආනයනය කරන සමාගම් විසින් පාරිභෝගිකයා සූරාකෑම වැලැක්වීම සඳහාය එනම් අයුතු ලාභ ලැබීම වැළැක්වීම සඳහාය. දෙවැන්න දේශීය  නිෂ්පාදන ආර්ථිකය ආරක්ෂා කිරීම සඳහාය. ඒ සඳහා මිල සුත්‍ර සකස් කිරීමේදී පදනම් මිල ලෙස සැලකෙන්නේ දේශීය නිෂ්පාදන වියදමය. ඒ අනුව විදේශීය වෙළෙඳ පොළේ මිල අඩුවන විට විශේෂ බදු පැනවීම මගින් දේශීය නිෂ්පාදකයා ආරක්ෂා කිරීමට හැකි වේ.

තුන්වැන්න අධික ප්‍රචාරක පිරිවැය දරමින් ‍ආක්‍රමණශීලී ප්‍රචාරණය වැළැක්වීම සඳහාය අධික ප්‍රචාරක පිරිවැය මගින් විශේෂයෙන්ම සිල්ලර වෙළදුන්ට වැඩි කොමිස් ලබා දීම මගින් වෙළඳපළ විකෘතියක් ඇති කිරීමට ඉඩ ලැබේ. ඊට අමතරව එ් මගින් මාධ්‍ය වලට අයුතු බලපෑම් කිරීමටද ඉඩ ලැබේ. එම වියදම් සඳහා මිල සූත්‍රයක් හරහා සීමා පැනවිය හැක. කෙසේ වෙතත් මිල සූත්‍රය මගින් කිරි ආර්ථිකයට සාධාරණය ඉටු කළ හැකිය යන මතය මෑත කාලීනව හඳුන්වා දුන් මිළ සූත්‍රය මගින් නිශේධනය කොට ඇත. ඒ අනුව ඒ මගින් කිරි ආර්ථිකයට ගොම දැමීමක් සිදුවන බවට විවාදයක් නැත.

අවසාන වශයෙන් කිරි පරිභෝජනය මගින් බෝ නොවන රෝග වැඩිවන බවට පොදු මතයක් නිර්මාණයය කිරීම ද වැරැද්දකි. එක් පැත්තකින්  කහට සුදු කිරීම සඳහා කිරිපිටි හැන්දක් යොදන පාරිභෝගිකයාට එය කිසිසේත්ම අදාල නොවේ. අනෙක් පැත්තෙන් එසේ අහිතකර බලපෑම් වලට හේතුවන ප්‍රමුඛ සාධකයක් පිළිබඳ පර්යේෂණ දත්ත  ඇතත් ඒවා විශේෂිතව සඳහන් නොකර පොදුවේ කිරි වල ගුණ අගුණ කතා කිරීම වරදකි. කිරිවල අඩංගු ප්‍රෝටීන් වර්ග 04 අතුරින් එක් වර්ගයක් වන බිටා කැසේන් නම් ප්‍රෝටීන්  වර්ගයේ ‘’ටයිප් ඒ 1’’ සහ ‘’ටයිප් 2 ‘’ වශයෙන් ප්‍රභෝධ දෙකක් ඇත. ඒ අතරින් ඒ 1 ප්‍රෝටීනය හැදෙන්නේ යුරෝපීය සම්භවය සහිත දෙනුන්ගෙනි. විශාල වශයෙන් රෝගකාරක ගුණය සහිත වන්නේ එම ප්‍රෝටීනය බවට ප්‍රභල සාක්ෂි ඇත. එයට පිළිතුරු සෙවිය හැක්කේ දේශීය ගව පට්ටියේ යුරෝපීය ජාන ක්‍රමයෙන් ඉවත් කිරීමෙනි. ඒ සදහා දේශීය කිරි ගව අභිජනන ප්‍රතිපත්තියක් අවශ්‍යවේ. නමුත් සිදුවන්නේ විවිධ මතවාද පටලවමින් කිරි ආර්ථිකයට ගොම එකතු කිරීමය.

වෛද්‍ය කේ.එම් වසන්ත බණ්ඩාර


Comments

Popular posts from this blog

ලබන මාර් තුවේ ජිනීවා දක්වා සැඟවුණු මාර්ග සිතියම